gayan www.stargate.lk

කෙහොමද ගයාන් ඇමෙරිකාවේ ජීවිතේ?
එළකිරි වගේ ඉන්නවා. ලංකාවේ ඉන්නවා වගේම තමයි.
ඩැඩී බෑන්ඩ් එකත් එක්ක මියුසික් කර කර හිටිය ගයාන් හිටි හැටියේම ඇමෙරිකාවට යනවා. ඒ ඇයි?
එක පාරටම ගියා නෙවෙයි. පොඩි ප්ලෑන් එකක් තිබුණා. හැමෝටම කියන්න ගියේ නෑ යනවා කියලා. ළඟින්ම ඉන්න අයට විතරක් කිව්වා.
මම මෙහේ ඉස්කෝලෙකට යනවා. මියුසික් ඩිගි්‍ර එකක් කරන්න.

එතකොට “ඩැඩී”ට මොකද වෙන්නෙ?
ඒගොල්ලො තාම බෑන්ඩ් එක කරගෙන යනවා.

ඔයා නැතුව බෑන්ඩ් එකට පැවැත්මක් තියෙයි කියලා හිතනවද?
ඔව්. අනිවාර්යයෙන්ම.
හැබැයි “ඩැඩී” කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ ගයාන්. ඔයා නැතිව ඒ අඩුව පිරෙන්නේ කොහොමද?
අනිත් අයට ඒක කොහොමද දැනෙන්නේ කියලා මම දන්නෙ නෑ. මමත් සංගීත කණ්ඩායමේ එක සාමාජිකයෙක් විතරයි. අපිට යම් කිසි පැවැත්මක් තිබ්බා නම් ඒ මම හින්දා නෙවෙයි. අපි පස්දෙනාම හින්දා. මම මෙහේට ආව කියලා ඒගොල්ලො වැඩේ නතර කරන්නේ නෑ. එක පුරුකක් අයින් වුණා කියලා මම හිතන්නෙ නෑ ලොකු වෙනසක් වෙයි කියලා.

ඩැඩී එක්ක ඔයාගේ තිබුණ හීනවලට මොකද වෙන්නෙ එතකොට? දාලා යද්දි දුකක් දැනුණේ නැද්ද?
දුකක් නොදැනුණා නෙවෙයි. දුකයි තමයි. හැබැයි මම ලොකු හීන තිබ්බ කෙනෙක් නෙවෙයි. මට ඇත්තටම සන්තෝෂයි මේ ටික කාලෙදි අපිට කරන්න පුළුවන් වුණු දේවල් ගැන. මේ වගේ මට්ටමකට එයි කියලා අපි හිතල තිබුණේ නෑ. ලොකු හීන මැව්වෙත් නෑ. ඒ හින්දා දාලා එද්දි එච්චර අමාරු වුණේ නෑ. කොල්ලො ටික දාලා එන්න නම් හරි දුකයි. බෑන්ඩ් එක විතරක් නෙවෙයි මම මගේ ෆැමිලි එකත් දාලනේ ආවෙ. බෑන්ඩ් එකට වඩා මට මගේ ෆැමිලි එක ලොකුයි.
තාත්තා මොකද කිව්වේ එනකොට?
මුකුත් කිව්වේ නෑ.

උඹට ඕන දේ කරපන් කියලා විතරයි කියන්නේ.
ගයාන් මේ ඔයාගේ පීක් ටයිම් එක. ඇයි හොඳම වෙලාවේ “ඩැඩී” දාලා යන්නේ?
හුඟක් අය ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. පසුගිය කාලේ මම නොහිතපු ආකාරයට සංගීත කණ්ඩායමත් එක්ක මම කරපු හොඳම සින්දු කරන්න පුළුවන් වුණා. ක්‍රිකට් මැච් එකක බින්දුවක් ගහලා රිටයර් වෙනවා වගේ නෙවෙයි. ඇත්තටම මම වාසනාවන්තයි. “ජීවිතේ විඳින්න” කියන සින්දුව කරලා මට යන්න ලැබුණා. පළමු වැනි සින්දුවෙන්ම හිතාගන්වත් බැරි විදියට නැඟලා ගියානේ අපි. ටික කාලයක් යද්දී මේක මට වාතයක් වුණා.

ඒ කියන්නේ ජනප්‍රියත්වය මාර ඇණයක් වුණා?
නෑ. කරදරයක් නෙවෙයි.
ඒත් ජනප්‍රියත්වය ලැබෙද්දි අපි හිතන්න ගන්න විදියත් එක්ක තමයි කරදරයක් වෙන්නෙ. එතකොට මට වෙන්නෙ මට ඕන දේ මට කරන්න බෑ. මට එළියට යන්න බෑ. මට කෙල්ලෙක්ට කතා කරන්න විදියක් නෑ. සමහරදාට මට වාහනයක් නෑ ජිම් එකට යන්න. දැන් මම කල්පනා කරනවා ත්‍රීවීල් එකක ගියොත් මොනවා හිතයිද මිනිස්සු. මම බැලුවා මෙහෙමද ජීවත් වෙන්නෙ කියලා. එහෙම ජීවත් වෙලා මට මගේ මියුසික් කරන්න වෙන්නෙ නෑ. ජනප්‍රියත්වය ඉස්සරහට ගෙනියන්න මොකක් හරි කුණුහරුපයක් තමයි කරන්න වෙන්නෙ. ඇත්තටම මට තිත්ත වුණා.

ඔහොම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ගයාන් රට දාලා ගියේ කරපු දේවල් අසාර්ථක වෙලා කියලා?
ඔව්. ඔව් කට්ටිය හිතන්න පුළුවන් මූට හරි නොගිය නිසා ගියා කියලා. මම කවදාවත් ඒවා ගැන හිතන්නේ නෑ. භාතිය සන්තුෂ් කරන්නේ මේවා. ඒ නිසා අපිත් මෙහෙම කරන්න ඕන. ඉරාජ්ව කොපි කරන්න ඕන වගේ තැනක ඉඳන් මියුසික් කරපු කෙනෙක් නෙවෙයි. සංගීතය කියන්නේ මගේ බොක්කෙන්ම ආපු දෙයක්. මම මගේ විදියට මියුසික් කරනවා ඇරෙන්න කවුරුවත් මම ගැන කියන දේවල් ගැන හිතන්නේ නෑ. මට සින්දු හදන්න පුළුවන්. සින්දු ලියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. සින්දුවක් රචනා කරන්න කාගේවත් උදවු ඕන නෑ. අන්න ඒ නිසා මම බය නෑ. ජනප්‍රිය වෙන්න මම අකැමැති දේවල් කරන්නෙත් නෑ.

ක්‍ෂේත්‍රයේදී ගයාන්ට අකැමැති දේවල් මොනවද කරන්න වුණේ?
උදාහරණ කිහිපයක්ම තියෙනවා. ඒවාට මම එච්චර කැමැති නෑ. කලාවට මහ බොරුවක් කරන්නේ මේ මිනිස්සු. කොලවරි සින්දුව ආවා. ඒක මෙහේ ගහලා විනාශ කළා. හැරල්ඩ් විලියම්ස්ගේ සින්දුවක් ආවා. උමාරිය තව කවුද එක්ක එකතු වෙලා ඒ සින්දුවත් ගහලා තියෙනවා. උමාරියා කියන්නේ මගේ යාළුවෙක්. ඇත්තටම ටැලන්ට්. නමුත් මිනිස්සුන්ට පේන්න බොරු ජනප්‍රියත්වයක් මවා ගන්නවා. ආර්ටිස්ලා බහුතරයක් ඉන්නෙ ඒ වගේ. මම කැමැතිම නෑ ඒකට.
ඇත්තම කියන්න රටත් අත ඇරලා ගියේ බෑන්ඩ් එකේ ප්‍රශ්න තිබුණා නේද?
නෑ කිසි ප්‍රශ්නයක් නෑ. මම එන්න සතියකටත් කලින් බුකින් එකක් ගහලා ආවේ. ප්‍රශ්න තිබුණා. ගහ මරාගන්න ඒවත් තිබුණා. ඒත් බෑන්ඩ් එක අතඇරියා කියලා වෙන රටකට එන්නෙ මොකටද? කොහොමත් එන්න හිටියේ මම. මම එනවට බෑන්ඩ් එකේ කවුරුත් එච්චර සන්තෝෂ වුණේ නෑ.

එතකොට ගයාන් බෑන්ඩ් එකට ලොකු පොල්ලක් තියලා රටින් ගියා කියන කතාව?
සල්ලිවලින්? කවුද කියන්නේ? කවුරුත් විශ්වාස කරන එකක් නෑ මට බැංකු එකවුන්ට් එකක්වත් නෑ. බෑන්ඩ් එකේ සල්ලි කවදාවත් මම හැන්ඩ්ල් කළෙත් නෑ.
බෑන්ඩ් එක හරහා ගැහුව ඇගි්‍රමන්ට්?
අපේ ඇගි්‍රමන්ට් එකක් තිබුණා. මම එද්දි එහෙම තිබුණ ඇගි්‍රමන්ට්ස් ඔක්කොම සම්පූර්ණ කරලා ආවේ.

ආයේ ඇවිත් “ඩැඩී” එක්ක එකතු වෙනවද?
එයිද නැද්ද කියලාවත් මට ෂුවර් නෑ. කවුද දන්නෙ සුද්දියෙක් බැදගෙන මෙහෙම ඉදීද කියලා.මම ඇවිත් ආයෙත් ඒගොල්ලොත් එක්ක එකතු වෙයිද කියලා ෂුවර් එකක් නෑ. මම අවුරුදු පහකට පස්සේ ආවොත් එයාලා බැඳලා දරුවොත් ඉඳීවි. මම එතැනට හරි යන්නේ නෑ. ඒගොල්ලො බෑන්ඩ් එක කරන්නේ පවුලක් නඩත්තු කරන්න. මම මියුසික් කරන්නේ එහෙම දේකට නෙවෙයි. මම මියුසික් කරන්නේ මගේ තියෙන ඇඟේ අමාරුවට.
සුභාෂිණී ගුණරත්න මව්බිම පුවත්පතින්