ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් අද දිනයේ සිට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ 2020 වර්ෂයේ මහ මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවූ බවයි.

ඒ අනුව ජනතාවට තමන්ට කැමති පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ඉඩ ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.