ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා හොරණදී මුල්ගල තැබීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වුවත් එහි ආයෝජකයා කවුරුන්දැයි අවසන් මොහොත දක්වාම ඔහු දැන නොසිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (25) පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු පැවසුවේ “අගමැතිතුමා ඇත්තටම එදා උදේ තමයි දැනගෙන තියෙන්නෙ පුද්ගලයා කවුද කියලා. එතුමා කලින් ඉඳලම හිත හිත හිටියේ මේකට යනවද? නැද්ද? කියලා.. ඒ වෙන කොටත් අගමැතිතුමාගේ නම දාලා විවෘත කිරීමේ පළකත් හදලා. ඒ නිසා තමයි එතුමට යන්න වුණේ.” යනුවෙනි.

අදාළ ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබා දී ඇත්තේ ඉතා අඩු මිලකට බවට චෝදනා පවතිනවා. එහෙත් එවැනි ගනුදෙනුවකට ඉඩකඩක් නීතියෙන් නොමැති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කළේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා හොරණදී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය නැවත සලකා බැලීමට ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප‍්‍රකාශ කළා.