ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.

වසර 04 කට පසුව මේ රටේ නැවත මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමග එකම වේදිකාවකට එන්න පුළුවන් වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා.

නොවැම්බර් මාසය කියන්නේ දේශපාලන වශයෙන් පුදුම මාසයක් බවත් 2014 නොවැම්බර් 21 දා තමයි තමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ඉවත්වී යළි වසර 04 කට පසුව නොවැම්බර් මාසයේදීම එක වේදිකාවකට පැමිණි බව ජනාධිපතිවරයා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීම සහ එම ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට හේතුවූ කරුණු ජනාධිපතිවරයා මෙසේ පෙන්වා දෙනු ලැබුවා.

මේ රටේ පාර්ලිමේන්තුවේ නායකත්වය වන රටේ අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කළේ ඇයි? සියලු දෙනා අහන ප්‍රශ්නය මෙයයි. මම මේ පුටුවට මාරු කළේ මිනිස්සු දෙන්නෙක් නෙමෙයි. මේ රට අහිතවත්, මේ දේශයට අහිතවත්, අපිට නොගැලපෙන, විදේශ දර්ශණයට අනුව වැඩකරන කෙනෙක් ඒ පුටුවෙන් ඉවත් කලේ. මේ පුටුවට පත්කළේ විදේශයන්ට ගැති නොවන, රටට ආදරේ කරන කෙනෙක් පත් කරන්න කටයුතු කළා යැයි ජනාධිපතිවරයා කියා සිටියා.

ජනවාරි 08 වෙනිදා තමාව බලයට පත් කිරීමට කැපවූ එක්සත් ජාතික පාක්ෂික නායකයින් සහ ජනතාව වෙනුවෙන් අගමැතිධුරය එක්සත් ජාතික පක්ෂ නායකයෙක්ට ලබා දීමට තමන් උත්සහ ගත් අයුරු මෙහිදී ජනාධිපතිවරයා හෙළිකර සිටියා.

මේ රටේ පණ මෙන් එක්සත් ජාතික පක්ෂයට ආදරේ කරන, සේනානායක පරපුරේ දේශපාලන ක්‍රමයට ගරුකරන සැබැවින්ම එක්සත් ජාතික පක්ෂයට ආදරේ කරන මිනිසුන් මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ හැර වෙන කෙනෙක් අගමැතිධුරයට පත් කරන්න ඉඩ තිබුනේ නැද්ද කියලා. මේ ගැන මිට දින කිහිපයකට පෙර මාව මුණ ගැසීමට පැමිණි කථානායක කරු ජයසුරිය ඇතුළු නව ආණ්ඩුවට එක්වෙන්න පැමිණි එකසත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් මගෙන් විමසා සිටියා.

මම පුරා පැයක් කරු ජයසුරිය මහතා සමග මිට දින කිහිපයකට ඉහතදී සිදුකළ සාකච්ජාවේදී එතුමාට මතක් කරලා දුන්නා මට එහෙම තීරණයක් ගන්න උනේ ඇයි කියන එක ගැන. මම එදා සාකච්ජාවේදී කථානායකවරයා ගෙන් මම ඇහුවා මිට මාස 08 කට පෙර මම ඔබට කිව්ව දේ සිදුකළා නම් මේ දේ අද සිදු නොවන්න ඉඩ තිබුනා කියාලා.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල පැමිණියාට පසුව ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයේ සිටියදී පාර්ලිමේන්තුවට ගෙනආපු විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කරන්න බැරි නිසා කරු ජයසූරියට අගමැති පුටුව භාර ගන්න කියලා. තුන් පාරක් ඇවටිලි කරාට පස්සේ එතුමා කිව්වා පසුවදා මාව හම්බ වෙන්න එනවා කියලා. තනියම එනවා කිව්වා කරු ජයසුරිය ආවේ අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඇවිත් කිව්වා ” මට අගමැතිවරයාට විරුද්ධ වෙන්න බැහැ කියලා”. එදා කරු ජයසුරිය මාව අමාරුවේ දැම්මා.

නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමට පත් කරන්න මාස දෙකක් කලින් ඉදලා මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නිවසට එන්න කියලා කිව්වා. මම කිව්වා රනිල් ගේ වැඩපිලිවල මට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් කරු ජයසුරිය වගේම සජිත් ප්‍රේමදාසත් කිව්වා මට බැහැ නායකතුමාට විරුද්ධ වෙන්න කියලා.

අවසානයේදී මම තීරණය කළා රටට ගැලපෙන නායකයෙක් සොයන්න. රනිල් වික්‍රමසිංහ එක්ක බැහැ කිව්ව කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස වෙනුවට රනිල් පෙරළන් යන්න පුළුවන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හැටියට මම පත් කළා යැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ තීන්දු තීරණ ගත් ආකාරය ගැනද ජනාධිපතිවරයා හෙළිදරව් කළා.

විදේශ න්‍යාය පත්‍රවලට අපිට වැඩකරන්න බැහැ. පසුගිය වසර තුනහමාරේ දී රටේ දුප්පත් මිනිස්සුන්ව පිඩාවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල්වාදී දේශපාලනය ආර්ථිකය තුල රටේ කුඩා පන්තියේ මිනිස්සුන්ය පහර වැදුනා. ඇත්ත වශයෙන්ම කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා සමනළ ජිවිතකයට ඇතුල් වුනා. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ජනපති අගමැති සාකච්ජා කරලා නොවෙයි, ජේෂ්ඨ නායකයින් සමග සාකච්ජා කරලා නොවෙයි. ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සමනළ රැල සාකච්ජා කරලයි, ජනාධිපතිවරයා කියා සිටියා.

අගමැතිධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සහ එහි ගැටලුවක් ඇත්නම් විසඳා ගැනීමට යායුතු තැන පිලිබදවද මෙහිදී ජනාධිපතිවරයා මතක් කර දුන්නා.

මම මේ වෙනස කළේ නිකම් නොවෙයි. දේශපාලන විශාරදයින් , නීතිඥවරුන්ගේ අනුදැනුම අනුව ව්‍යවස්ථානුකුලවයි නව අගමැති හැටියට මහින්ද රාජපක්ෂ මහතා පත් කලේ, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය සහ රජයේ ලේකම්වරුන් පත්කළේ. කාට හරි කිසියම් සැකයක් තිබෙනවානම් ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ගිහිල්ලා මේක විසඳ ගන්න පුළුවන්. මේ රටේ තිබෙන්නේ ස්වාධින අධිකරණ පද්ධතියක් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුවේ බහුතර බලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැක්වුයේ මෙවන් අදහසක්,

පාර්ලිමේන්තුවේ බහුතරය ඒ කියන්නේ දැනට අවශ්‍ය 113 දෙනා අපි හදලා ඉවරයි. ඒක නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා ඉවරයි. අපිට රට ඉදිරියට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය සමග සෙල්ලම් නොකරන ලෙස තමා මෙහිදී හිටපු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

උතුරේ තිබෙන ප්‍රශ්න විසදීමට අගමැතිවරයා සහ තමන් කටයුතු කරන බව මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා. එමෙන්ම පසුගිය ආණ්ඩුවේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා.

උතුරේ අහිංසක ජනතාවගේ නිවාස 50,000 ක ව්‍යාපෘතිය හදන්න ලැබුනේ නැහැ. එකේ අයිති කරගන්න රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, ස්වාමිනාදන් හිටපු ඇමතිවරයා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා. අවසානයේදී එකදු නිවසක් ඉදිකරන්න ඉඩ ලැබුණේ නැහැ යැයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන ක්‍රියාවලියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන්ට සහය දක්වන බවට ප්‍රකාශ කළ බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

තමන් හා ඉන්දියාව අතර බෙදීමක් ඇති කිරීම සදහා රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය කටයුතු කළ බව මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

කිසිම කෙනෙකු සමග ගැටුමක් ඇති කර ගන්න එපා, දේශපාලන ප්‍රතිවාදීන් සමග සුහදව කටයුතු කරන ලෙසත් සියලු දෙනා එක්ව මේ රට ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලු දෙනා ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

එමෙන්ම අවසාන වශයෙන් කරු ජයසුරිය කථානායකවරයාට ජනාධිපතිවරයාට මෙසේ පණිවිඩයක් ලබා දුන්නා.

“කරු ජයසුරිය මැතිතුමනි ඔබ ඉතා හොද බෞද්ධ නායකයෙක්, නායක හිමිවරුන්ගේ, කාඩිනල් තුමා ඇතුළු අනෙක් ආගමික නායකයින්ගේ උපදෙස් ලබා ගනිමින් මේ රටේ ගැටලුවක් ඇති නොවන ලෙස අප සියලු දෙනා එක්ව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.”

……………………………………………………………………..

අගමැති “රට රකින ජනමහිමය” ජනරැළිය අමතයි

මෙම ඉතිහාසගත තීන්දුව ගන්න ජනාධිපතිවරයා වශයෙන් අවුරුදු 3 යි මාස 10ක කාලයක් ගතවුනා.

මේ ජනතාවට බදු බර දාලා දිනපතා අයුතු ලෙස පාලනය කරන එක නතර කරන්නයි අපිට ක්‍රියාත්මක වෙන්න උනේ. මම මුදල් අමාතයාංශයේ වැඩ භාර ගත්තම මම ජනාධිපතිතුමා සමග කතා කරලා බදු බර සහ තෙල් මිල අඩු කරන්න පුලුවන්ද කියලා බැලුවා. ඒක එක දවසින් කරන්න පුළුවන් උනා. රට විදෙශිකකරණයෙන් මුදවා ගෙන රට යළි සංවර්ධනය කරන්න යළි ආරම්භ කරනවා. ජනාධිපතිවරයා සමග එක්ව මේ ගමන ඉදිරියට යනවා.

රටේ මහජනතාව,ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණේ නායකයින් විශාල කැප කිරීම් සිදුකළා. ඒ රටේ මහජනතාවගේ අනාගතය වෙනුවෙන් සුභ සිද්ධිය වෙනුවෙන් අපි ඉදිරියටත් කැපවීම් සිදුකරනවා.

ආපහු මේ එක්වූ දෙපාර්ශ්වය කේලම් වලින් බෙදා වෙන් කරන්න ඉඩ තියෙන්නේ නැහැ යනුවෙන් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.