රට තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ගෙන ඇති පියවර තෙවන දිනටත් අද(13) ක්‍රියාත්මක වෙයි.

අද දිනයේ ද රැකියා සඳහා කැඳවීම් ලද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඒ සඳහා පිටව යාමේ හැකියාව පවතියි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හා සේවාවන් ඉටු කරගැනීමට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගනිමින් නිවසින් බැහැරව යා හැකියි.

පාගමනින් යා හැකි ආසන්නතම ස්ථානය වෙත අද දිනයේ ගමන් කිරීමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 5 සහ 6 අංක සටහන් වී ඇති පුද්ගලයින්ට පමණයි.

මේ අතර රැකියා කටයුතු සඳහා පිටත්ව යන පිරිස් වෙනුවෙන් අද දිනයේ ද ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථවල නියමිත ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය සඳහා අද සිට අවසර ලබාදී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවලට අමතරව පෞද්ගලික බස්රථ ද ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

බස්රථවල ගමන් කිරීමේ දී ද ප්‍රමුඛත්වය ලබාදෙන්නේ රැකියා සඳහා අදාළ සේවා ස්ථානවලට වාර්තා කරන පුද්ගලයින්ට පමණක් වන අතර සාමාන්‍ය මගී ජනතාවට අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බස්රථ මගින් ගමන් කිරීමේ හැකියාව පවතියි.

එමෙන්ම බස්රථවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය වන බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර අද දිනයේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ පෞද්ගලික බස්රථ ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.