ජාතික පුනර්ජීවනය ඇති කිරීමට අත්‍යශවශ්‍ය වන ප‍්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට සියලූදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

දේශීය ආර්ථිකයේ පදනම ලෙස කෘෂිකාර්මාන්තය ස්ථාපිත කළ යුතු කාලය යළි එළඹ ඇති බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරන්නේ.

ශතවර්ෂාධික කාලයක පරාදීනත්වයෙන් අධිරාජ්‍යගැති බවට පත් මනස්වලට දේශයේ අනාගතය භාරවීම යනු අධිරාජ්‍යවාදයට වඩා භයානක ප‍්‍රතිඵල අත්කර දෙන්නක් බව එහි සඳහන්. එබැවින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වන්නේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු ආධ්‍යාත්මයන්ගෙන් යුත් ජනකායක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද 71 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිදහස වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යා මෙන්ම සමස්ත පරිසරය, ආර්ථික, සමාජ, දේශපාලන සහ ආධ්‍යාත්මික සංහිඳියාව අයත් කර ගත යුතු බවයි.

එය හුදෙක් සැමරුමකින් පමණක් දිනාගත හැක්කක් නොවන බවත් ක‍්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැප කිරීමක් අත්‍යවශ්‍ය බවත් අග‍්‍රාමාත්‍යවරයාගේ ජාතික නිදහස් දින පණිවුඩයේ සඳහන්.

මේ අවස්ථාවේ දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස් අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ස්ථාවර රාජ්‍යයක් සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට සියලූදෙනාට ඇරයුම් කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

අදට (04)  යෙදී ඇති 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ නිදහස් දිනයෙන් සැබවින්ම පිළිබිඹු වන්නේ එක් ධජයක් යට, එක් ජාතියක් ලෙස, විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිසුන් බවයි.

අප එකාවන්ව එකමුතුව ශ‍්‍රී ලංකාව ස්වෛරීව, ස්වයංපෝෂිතව බාහිර අතපෙවීම්වලට අභීතව මුහුණදිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.