මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. නව අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ඒ හා බැඳුනු සියලූ අභියෝග පුද්ගලයන් වශයෙන් ද දේශයක් වශයෙන් ද ජයගත යුතු අවස්ථාවක් බවයි.

උදාවු නව වසර ශික්ෂණය සංහිඳියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි පුළුල් මාවත් පෙරට වැඩි අවධානයකින් හා නුවණැසකින් හඳුනා ගැනීමට සියලූ දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

උදාවූ නව වසර ආදරණීය ශ‍්‍රී ලාංකීය ජනතාවගේ සෑම පැතුමක්ම ඉටු වන සියල්ලන්ගේ චිර ජීවණය හා සෞභාග්‍යය සැලසෙන සමයක්ම වේවායි තමන් හෘදයාංගමව ප‍්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

උදාවූ නව වසර වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ගෙවුණු වසරේ මුහුණ දීමට සිදුවු බරපතල අභියෝගය ජය ගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග‍්‍රහණයක් බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් දක්වා ඇත්තේ.

ජාති, ආගම්, පක්ෂ ආදී කිසිඳු භේදයකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීම උදෙසා පෙළගැසුණු සැමටම සිය කෘතවේදීත්වය පුද කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. උදාවූ නව වසර සමස්ථ ලක් වැසි ජනතාවට අභියෝගාත්මක වසරක් දිනා ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරමින් අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක් ගොඩනැංවීමේ වගකීම අප ඉදිරියේ ඇති අභියෝගයක් බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය සුභ පැතුම් පණිවිඩයෙන් දක්වා තිබෙනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

උදා වූ නව වසරේදී ජාති, ආගම් භේද පසෙකලා ශ‍්‍රී ලංකා වාසීන්ට එකමුතුව අප මවුබිම සතුරු බලවේගවලින් බේරා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි තමන් ප‍්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් දක්වා ඇත්තේ.