කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ඉන් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින පිරිසයි. එලෙස ඇප කොන්දේසි සම්පූර්ණ නොකර රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින රැදවියන්ගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

බන්ධනාගාර අධිකාරිවරුන් ස්කයිප් තාක්ෂණය මගින් අදාළ මහේස්ත‍්‍රාත්වරුන් සමග සම්බන්ධ වී ඊට අදාළ තීන්දු ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට අමතරව සුළු වැරදි සඳහා වසරකට වඩා අඩු කාලයක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන් නිදහස් කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

සුළු වැරදි සඳහා වසරකට වඩා අඩු කාලයක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන් සංඛ්‍යාව 
2,000 කට ආසන්නයි. 
ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකිව සහ සුළු වැරදි හේතුවෙන් 
බන්ධනාගාරගතව සිටින රැදවූවන්ට නීතිමය සහනයක් ලබා දීම සම්බන්ධයෙන් 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා.

ඒ අනුව ඒ 
සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් 
කෙරුණු අතර එම කමිටුව ඉකුත් කාල සීමාව තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර 
කිහිපයක් ද පවත්වනු ලැබුවා.