නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ.

ගත වූ දින කිහිපය පුරා මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනා ගැනුණු අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන් වේ.

පවතින තත්ත්වය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කිරීම සඳහා යළි කොන්දේසි පැනවීමට මෙල්බන් බලධාරීන් තීරණය කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණු විට නිවෙස්වලින් බැහැරව නොයන ලෙස දැනුම් දී තිබේ.

මිලියන 5 ක පමණ ජනතාවට මෙම කොන්දේසි බලපැවැත්වීම හේතුවෙන් එරට වෙළඳසැල් ආශ්‍රිතව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් එක්රැස්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.