චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.

ඒ අතරින් හරි අඩක් පමණ වාර්තාවී තිබෙන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්ය.

වෛරසයන් මියගිය ගණන දෙදහස් දෙසීය ඉක්මවා තිබේ.

මේ අතර නිව්යෝක් ප්‍රාන්තයම සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්කිරීම ගැන සලකා බලමින් සිටින බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

කනෙක්ටිකට් සහ නිව් ජර්සි ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයක්ද නිරෝධායනයට ලක්කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වෛරසයට ගොදුරුවී නොමැති නමුත් ඊට ගොදුරුවීමේ අවදානමක් සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අමෙරිකානු නාවික හමුදාවට අයත් “මර්සි” රෝහල් නෞකාව ලොස් ඇන්ජලීස් වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

අදාළ නෞකාව රෝහල් ඇඳන් දහසකින් සහ වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් එක්දහස් දෙසීයකින් සමන්විතයි.

ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන් වාර්තා වන අතර ගතවූ පැය 24 ඇතුළත වාර්තාවූ මරණ 889ත් සමග එම සංඛ්‍යාව දසදහස ඉක්මවා ගියේය.

එරටින් හඳුනාගෙන ඇති මුලු ආසාදිතයන් ගණන 92,472කි.

මෙවන් පසුබිමක් තුළ එරට පාසැල් වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අගමැති ගුසෙප් කොන්ටේ තීරණය කර තිබේ.

රට අකර්මණ්‍ය කිරීමෙන් ආර්ථික අතින් පසුබෑමට ලක්වූ ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉතාලි රජය අමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් වෙන්කර ඇති බවත් සඳහන්ය.