එල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කොට මේ වසර අවසානයට පෙර ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ චෝදනා ලැබූවන් අතරින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකළ හැකි පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත්, පුනරුත්ථාපනය කළ යුතු අය පුනරුත්ථාපනය කිරීමටත්, කිසිදු චෝදනාවක් නොමැති පුද්ගලයන් නිදහස් කිරීමටත් නියමිත ය.

ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට හා අධිකරණ අමාත්‍යංශය වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් පසුගිය සතියේ හමුවී මේ පිළිබඳව සාකච්ඡා කොට මෙම තීරණය ගෙන තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් නීතිපති උපදෙස් ලබාගෙන අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.