කැනඩාවේ ඔටාවාහිදී කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු පොලිසිය සඳහන් ක‍ර ඇත්තේ, මෙය “සමූහ ඝාතනයක්” බව ය.

ඝාතනයට ලක් වූ හයදෙනා කැනඩාවට අලුතින් පැමිණි පිරිසක් වන අතර ඒ අතරින් බාල ම දරුවාගේ වයස මාස තුනකට වඩා අඩු බව ද පොලිසිය සඳහන් කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ, එම පවුල සමග ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට ය.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මවක, ඇගේ දරුවන් සිව් දෙනා සහ ඔවුන් සමග එම නිවසේ ජීවත් වූ තවත් පුද්ගලයෙකි.

මව 35 හැවිරිදි වියේ පසුව වන දර්ශනී බණ්ඩාරනායක වන අතර හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ ඝාතනයට ලක් වූ දරුවෝ වෙති.

ඝාතනයට ලක් වූ අනෙක් පුද්ගලයා 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවන බව බලධාරීන් සඳහන් කර තිබේ.

සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස පොලිසිය විසින් හඳුනා ගනු ලැබ ඇත.

මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

පොලිසිය සඳහන් කර ඇත්තේ, “තියුණු ආයුධයකින්” පහර දී මෙම ඝාතන සිදු කර ඇති බව ය.

මෙම සිදුවීම ඔටාවාහි මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඝාතනය බවත්, එය එරට අගනුවරට “සැලකිය යුතු” බලපෑමක් ඇති කරන “සැබෑ ඛේදවාචකයක්” ලෙස හඳුන්වන බවත් කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.