sri lanka cricket

ඉදිරි වසරට අදාළ නිලධාරීන් තෝරා ගැනීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ක්‍රිකට්‌ නිලවරණය ලබන අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ‘දිවයින’ට පැවැසීය.

ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නිලවරණය ලබන මාර්තු මස 31 වැනි දිනට හෝ ඊට පෙර දිනයක පැවැත්වීමට නියමිත වුවද, එම කාල සීමාව තුළ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන හෙයින් ක්‍රිකට්‌ නිලවරණය කල් දැමීමට පියවර ගැනිණි.

ලෝක කුසලාන තරගාවලියක්‌ වැනි විශේෂිත වූ තරගාවලියක්‌ පැවැත්වෙන විටදී නිලවරණ පැවැත්වීමට නුසුදුසු බව දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ද සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි දිසානායක මහතා, ක්‍රීඩා පණතට අනුව මෙවර ක්‍රිකට්‌ නිලවරණය පැවැත්වෙන බවත්, එහි සියලු තීන්දු තීරණ ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල් විසින් ගනු ලබන බවත් සඳහන් කර සිටියේය.

ඉදිරි නිලවරණයේදී සභාපති අසුන සඳහා තරග වැදීමට නියමිත යෑයි සඳහන් වත්මන් පරිපාලනයේ නියුතු ප්‍රධාන නිලධාරියකුට එරෙහිව අල්ලස්‌ හා දූෂණ කොමිසමේ පැමිණිල්ලක්‌ ගොනුවී තිබෙන අතර එහි පරීක්‍ෂණ කටයුතු පැවැත්වෙමින් පවතියි. මෙවන් තත්ත්වයක්‌ මත එවැනි දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් හට මෙවර නිලවරණයේදී නාම යෝජනා ලබා දෙන්නේද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමකදී, ”ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල වෙන්න පුලුවන්. නමුත් ඔහු වැරදි කාරයෙක්‌ වෙන්නේ ඒව ඔප්පු වුණොත් විතරයි. එහෙම නැතුව, ක්‍රීඩා පණතට ප්‍රාකාරව ඡන්දය ඉල්ලන ඕනෑම කෙනෙකුට මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න පුලුවන්. ඒක ගැන කිසිම ගැටලුවක්‌ නැහැ” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අදහස්‌ දැක්‌වීය.

මේ අතර දේශපාලන බලපෑම් මත වත්මන් විධායක කමිටුවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිට ඉල්ලා අස්‌වූ කේ. මතිවානන් මහතාද යළිත් ක්‍රිකට්‌ පරිපාලනයට පැමිණීමේ සූදානමකින් සිටින බවද වාර්තා වේ. මිස්‌ටර් ක්‌ලීන් (ක්‍රිකට්‌ පරිපාලනයේ සුපිරිසිදු චරිතය) ලෙසින් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටින මතිවානන් මහතාව, වත්මන් ක්‍රිකට්‌ පරිපාලනයේම ඉහළ පුටුවක සිටි පුද්ගලයකු විසින් එවකට සිටි රජයේ ඉහළ පෙළේ පුද්ගලයකු ලවා ක්‍රිකට්‌ පරිපාලනයෙන් ඉවත් වන ලෙසට බලපෑම් කළේ යෑයි එවකට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්වීය. එම තත්ත්වය මත කළකිරී මතිවානන් මහතා ක්‍රිකට්‌ පරිපාලනයෙන් ඉවත්වූ බවද සඳහන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයකදී තනි පුද්ගලයකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව (113) ලබාගනිමින් උප සභාපති තනතුරට පත් මතිවානන් මහතා, එවකට කෝල්ට්‌ස්‌ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. ඔහුගේ ඉවත්වීමෙන් පසු කෝල්ට්‌ස්‌ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස වත්මන් ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග අසුන්ගත්තේය.

අප්‍රේල් 30 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට්‌ නිලවරණය සඳහා තුන්කොන් සටනක්‌ නිර්මාණය වී තිබෙන බවත් එහිදී සභාපති අසුන සඳහා වත්මන් ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල යන මහත්වරුන් තරග වැදීමේ අපේක්‍ෂාවන් සිටින බව සඳහන් වේ.