සේවය අවසන්ව නිවස බලා යමින් සිටි ගාල්ල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් වරියකට ගාල්ල ප්‍රධාන බස්‌පළේ දී ලිංගික අපයෝජනයක්‌ කිරීමට උත්සාහ කළ දේවාල කපුවෙකු පෙරේදා (26දා) ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස්‌ කොස්‌තාපල්වරිය සේවය අවසන්ව තම නිවස බලා යැමට සිවිල් ඇඳුමින් සැරසී ගාල්ල ප්‍රධාන බස්‌ නැවතුමට පැමිණ සිට ඇති අතර බීමතින් සිටි මෙම සැකකරු ඇයට ලිංගික අපයෝජනයක්‌ කිරීමට තැත්කර ඇත.

මෙහිදී පොලිස්‌ නිලධාරිනිය ඊට විරෝධය දැක්‌වීම නිසා සැකකරු පොලිස්‌ නිලධාරිනියට බැණ වැදී ඇත. මේ පිළිබඳව සිය ජංගම දුරකථනයෙන් පොලිස්‌ නිලධාරිනිය ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වන විටත් සැකකරු සන්තකයේ කාලේ මත්පැන් බෝතලයක්‌ තිබී ඇති අතර මෙම පුද්ගලයා වඳුරඹ ප්‍රදේශයේ දේවාලයක්‌ පවත්වාගෙන යන කපුවෙකු බවද පසුව අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.