කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන, එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) දින ආරම්භ වුණා.

ඒ සදහා මේ වන විට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අද අලුයම 5.00 සිට පැමිණ සිටි ආකාරය දැක ගත හැකි වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

කටුනායක පොලීසිය ඊයේ (26) දින රාත්‍රියේ ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබුණා.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කටුනායක පොලීසිය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කර තිබූණා.

ඒ අනුව මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් ප්‍රථමයෙන් කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි කෙරෙනවා.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරනවා.

ඉන් සමත් වන පිරිස් ඔවුන්ගේ පදිංචිය අනුව නම් කර සූදානම් කර ඇති බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කෙරෙනවා.