මිනිසුන් අතරෙ පවතින සබඳතා සම්බන්ධව පැති කිහිපයකින්ම අප බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයෙන් මනාව පැහැදිලි කොට ඇත. එවැනි සම්බන්ධතා පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී ස්‌වාමි, භාර්යා පිළිබඳව හිමි වන්නේ පළමු තැනයි. එනම් මිනිස්‌ වර්ගයාගේ පැවැත්මේ මූලිකම පියවර වන්නේ විවාහයයි. මෙය ලියවිල්ලකට පමණක්‌ සීමා වන දෙයක්‌ නොවන අතර, මානසික, කායික හා අධ්‍යාත්මික සබඳතාවක්‌ වේ.

යම් කෙනකුගේ කේන්ද්‍ර සටහන පිරික්‌සීමේදී ඔහුට හෝ ඇයට විවාහයක්‌ හිමිද? අහිමිද? යන්නත් එය නිසි වයසට සිදු වේද? ප්‍රමාද වේද? යන්නත් තවද විවාහ වූ පසු ඔවුන්ගේ විවාහ ජීවිත සාර්ථකද? අසාර්ථකද? යන්නත්, බහු විවාහයක්‌ පවතීද යන්නත් පැවසිය හැක. එමෙන්ම සහකරු හා සහකාරිය සම්බන්ධව බැඳීම් ඇති වන ආකාරයත්, ඔහුගේ හෝ ඇයගේ ස්‌වරූපය, රැකියාව, ගති පැවතුම් ආදී සියල්ලද කේන්ද්‍රය නිවැරදිව පරීක්‌ෂා කිරීමෙන් පැවසිය හැක.

කේන්ද්‍රයක විවාහය පරීක්‌ෂා කිරීමේදී 7 වැන්න, හත් වැන්නාධිපතිගේ බල දුබලතාවය, හත්වැන්නේ ඇති ග්‍රහයන්ගේ බල දුබලතාව, හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපතිගේ පිහිටීම ස්‌ත්‍රියකගේ නම් කුජගේ පිහිටීමද, පුරුෂයකුගේ නම් සිකුරුගේ පිහිටීමද සැලකිලිමත් විය යුතුය. ඉහත සියල්ල පරීක්‌ෂා කර විවාහය කුමන කාලයේ සිදු වේද, නොවේද, එය ප්‍රමාදවේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැක. හත්වැන්නාධිපති සිටින ස්‌ථානය හා හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපති සිටින ස්‌ථානයෙන් ත්‍රිකෝණ ගතව ගුරු ගෝචර වන විට විවාහය සිදු විය යුතු වයසේ නම් මහ දශා, අන්තර් දශා ඒරාෂ්ටක අපලවල අහිතකර බලපෑමක්‌ නොමැති නම් විවාහ වීම සඳහා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ඇත්නම් එම කාලවල විවාහය සිදු වේ. විවාහ ජීවිතය බැලීමේදී විවාහයට පෙර සබඳතාවය (ප්‍රේම සබඳතාවය) 5 වැන්න සම්බන්ධ කරගෙන බැලිය යුතු අතර, විවාහයෙන් පසු සම්බන්ධතාවය, 7 වැන්නෙන් 5 වැන්න වූ 11 වැන්නෙන් බැලිය යුතු වේ. පොදුවේ ගත් කල විවාහ ප්‍රමාද කරන යෝග වශයෙන් ශනි මංගල යෝගයද, හත්වැන්නේ ශනි, රාහු, කේතු, ගුරු වැනි ග්‍රහයන් සිටීම හා ඔවුන් දුබල වීමද, 7 වැන්නාධිපති පාප පීඩිත වීමද, හත්වැන්න පාප පීඩිත වීමද, විෂ කන්‍යා යෝaග යෙදීම හා හත්වැන්නාධිපති දුර්වලව 6, 8, 12 සිටීම වැනි යෝගද තවද සඳහන් නොකළ යෝග ගණනාවක්‌ ඇත. මෙහිදී ග්‍රහයන්ගේ ශඩ් වර්ගය ඔවුන් පිහිටි නැකත්, ඔවුන්ගේ අවස්‌ථාවන් සියල්ල පරීක්‌ෂා කළ යුතු වේ.

විවාහයේදී සහකරුට හෝ සහකාරියට ඔවුනොවුන්ගේ ඇති වන බලපෑම පොරොන්දම් හා කේන්ද්‍ර පරීක්‌ෂාවෙන් කෙසේද යන්න තීරණය කළ හැක. එනම් භෞම දොaෂවල බලපෑම (කුජ දොaෂය) ආයුෂවල බලපෑම සම්බන්ධතාවයේ ශක්‌තිය වැනි විවාහයට අදාළ වන කරුණු සියල්ල පරීක්‌ෂා කළ යුතු වේ.

පොරොන්දම් ගැළපීම පමණක්‌ දෙදෙනාගේ විවාහයට සුදුසුකමක්‌ නොවේ. පොරොන්දම් හොඳින් ගළපා කළ විවාහයන් දෙදරා ගිය අවස්‌ථාවන් කොතෙකුත් දක්‌නට ලැබේ. නමුත් මේ සඳහා කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් තුළින් පුද්ගලයන්ගේ ස්‌වරූපය, ආයු, ලෙඩ රෝග ආදී කරුණු සලකා බලා කේන්ද්‍ර ගැළපිය යුතු වේ. විවාහයට අහිතකර ග්‍රහ බලපෑම් පවතී නම් කේන්ද්‍ර ගළපා විවාහය සිදු විය යුතු වේ. එසේ නොමැති නම් දික්‌කසාදයකින්, මරණයකින්, දුක්‌කරදර තත්ත්වයකින් විවාහය අවසන් විය හැක.

නමුත් ඔබගේ කේන්ද්‍රයේ ඔබට විවාහ සැපත නොමැති නම් එය ලෝකයාට අදාළ වන්නා වූ දූර්වලතාවයක්‌ පමණක්‌ වන අතර ධර්මානුකූලව අවස්‌ථාවක්‌ කර ගනිමින් ලොවෙන් එතෙර වීම සඳහා මහඟු අවස්‌ථාවක්‌ කරගත හැකි වේ.

විද්‍යාවේදී ජ්‍යෙතිෂ්‍යවේදී
* ගෝඨාභය මුදලිගේ