Mawbima Online - ajit priya

මේ දවස්වල අලුත් තොරතුරු මොනවද අජිත්?
මේ දවස්වල සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඊට අමතරව මම සින්දු දෙකක් කරලා තියෙනවා. ඒ ගීතවලින් කුෂාන් මනින්ද්‍ර ලියපු විරාජ් පෙරේරා සංගීතවත් කරපු “මාගේ හුස්ම” කියන ගීතයට වීඩියෝවක් කරලා මේ දෙසැම්බර්වලදී රසිකයන් අතරට ගේන්න වැඩ කරගෙන යනවා.
අජිත් වැඩ කළාට එච්චර සද්දයක් බද්දයක් නැත්තේ ඇයි?
සද්ද බද්ද නැති වුණාට මගෙන් වෙන්න ඕන වැඩ කොටස මගෙන් වෙනවා. දැන් මගේම කියලා මම ගීත හතළිස් පහක් විතර කරලා තියෙනවා. සංචාර සහ ප්‍රසංගවලටත් මම සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් මගේ ගමන ටිකක් හෙමින් තමයි. මොකද මම මගේ නිදහස ගොඩක් බලාපොරොත්තු වෙනවා.

සුපර් ස්ටාර් කියන්නේ අජිත්ගේ ජීවිතේ සුවිශේෂ කඩඉමක් කියලා පිළිගන්නවාද?
අනිවාර්යයෙන්ම ඔව්. රියැලිටි වැඩසටහනක් විදියට සිරසෙන් පටන් ගත්ත සුපර් ස්ටාර් පළමු තරගයෙන් ඇවිත් ජයග්‍රහණය කරලා අසීමිත ප්‍රේක්ෂක ආදරයක් ලබන්න පුළුවන් වුණා. ඒක පුදුම භාග්‍යයක්. ඒ ගැන මම ආඩම්බර වෙනවා.

ඒ කාලේ ලැබුණු රසික ආදරය උන්මාදයක් තරමට අජිත්ට දැනුණද?
පළමුවැනි සුපර් ස්ටාර් තරගය සියයට සියයක් ජනතාව බලපු වැඩසටහනක්. ඇත්තටම සුපර් ස්ටාර් තරගය පැවැත්වුණු කාලයේදී අපිව රසිකයන්ට පුදුම විදියට කිට්ටු වෙලා තිබුණා. මිනිස්සු පිස්සුවෙන් වගේ තමයි සුපර් ස්ටාර් බලල තිබුණේ. ලංකාවේ මේ වගේ ජනප්‍රියත්වයක් තිබ්බ වැඩසටහනක් මම හිතන්නේ තිබිලා නෑ. ඇත්තටම සුපර් ස්ටාර් වුණාට පස්සේ මට ආදරය කරන අයගෙන් අපේ ගෙදර පිරිලා තිබ්බා. මාව බලන්න මාව අතපත ගාන්න ගොඩක් දෙනෙක් ආවා. ඇත්තටම මට ඒක සමහර වෙලාවට දරා ගන්න බැරි පීඩනයක් වුණා. මට මතකයි මම අම්මා ළඟට ගිහින් මොකක්ද මේ මට වුණේ කියලා ඇඬුවා.

සුපර් ස්ටාර් නිසා අජිත්ට ලැබුණු දේවල්ද වැඩි නැත්නම් නොලැබුණු දේවල්ද වැඩි?
මම හිතන්නේ මට ලැබුණු දේවල් වැඩියි. හිතපු නැති දෙයක් තමයි මට ලැබුණේ. මොන වැඩසටහනෙන් කවුරු ජයග්‍රාහකයා වුණත් පළමුවැනි සුපර් ස්ටාර් මම කියලා අභිමානයක් මට තියෙනවා.

ඒ කියන්නේ සුපර් ස්ටාර් නිසා ජීවිතේ කිසි දෙයක් නැති වුණේ නැද්ද?
නැහැ. ඒ කාලේ රාවයක් ගියා මම මගේ බිරිය අතහැරියා කියලා. දැන් ඉන්නෙත් මගේ හිටපු බිරියම තමයි. ඉන්නෙත් ඒ දරුවමයි. කොහොමත් මම වැරැදිවලට පෙලඹුණේ නෑ. සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවිලා ගියා මිසක් මට කිසි දෙයක් නැති වුණේ නෑ.
සුපර් ස්ටාර් තරගයට එන්න කලින් ගෙවපු ජීවිතය අද මතක් කරන්න පුළුවන්ද?
ඇයි මට බැරි ඒ අතීතය මතක් කරන්න? මම බණ්ඩාර වීරකෝන් මහත්මයගෙ ලී බඩු සාප්පුවේ තමයි වැඩ කළේ. මම ඒ කාලෙත් සින්දු කිව්වා. ආධුනික ගී තරගවලට ගියා. සංගීත කණ්ඩායම්වල ගීත කිව්වා. ප්‍රසිද්ධ ගායකයෝ ගීත කියනවා අහලා මට එහෙම වෙන්න පුළුවන් නම් කියලා හීන දැක්කා. ඒ දැක්ක හීන මගේ වාසනාවට සැබෑ වීම ගැන සතුටුයි.

සුපර් ස්ටාර් ආවේ නැත්නම් ඒ ගෙවපු අතීතයෙන් එළියට එන්න අජිත්ට බැරි වෙයිද?
ඔව්. මම හිතන්නේ සුපර් ස්ටාර් කියන්නේ මට ලැබුණු අවසාන චාන්ස් එක. මගේ බිරිය තමයි සුපර් ස්ටාර්වලට ඉල්ලුම්පත්‍රය දැම්මේ. මගේ බිරියගේ දරුවගේ තිබ්බ වාසනාව නිසා මට මේ තත්ත්වයට එන්න ලැබුණා. සුපර් ස්ටාර් ආවේ නැත්නම් මම හිටපු තැනම ඉන්න තිබුණා.

සුපර්ස්ටාර් කිරුළ ඔබටම ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණද?
කිරුළ ගන්න කියලා හිතාගෙන හිටියේ නෑ. අවසාන තරගයෙදී මලිතුයි මායි අතරින් මම ජයග්‍රහණය කරයි කියලවත් මම හිතුවේ නෑ. මොකද ඒ වෙනකොටත් ප්‍රේක්ෂකාගාරයෙන් මලිත්ට හොඳ චියර් එකක් තිබ්බා. සුපර් ස්ටාර් වුණාට පස්සේ තමයි ප්‍රසිද්ධිය කියන්නේ මොකක්ද කියලා මම දැන ගත්තේ.
ඔබට කිරුළ ලැබුණේ ඔබේ දක්ෂතාව නිසාමද?
ගායනය කියන්නේ මට සහජයෙන් ආපු හැකියාවක්. මම සංගීතය හදාරලා නෑ. මම වෙනත් තරගවලටත් ගිහින් ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒත් සුපර් ස්ටාර් ජයග්‍රහණය මට විශේෂයි. මගේ හැකියාවට හොඳ වටිනාකමක් එයින් ලැබුණා.

ඔබේ ජයග්‍රහණය දුක දිනන්න ජනතාවගෙන් ලැබුණු අවස්ථාවක් කියලා හිතෙන්නේ නැද්ද?
සුපර් ස්ටාර් තරගය සර්ව සම්පූර්ණ මිනිසෙක් බිහි කළේ නෑ. සියයට පනහක් එස්.එම්.එස් වලින් සහ සියයට පනහක් විනිශ්චය මණ්ඩලයේ ලකුණුවලින් තමයි අපිට හිමි වුණේ. මට ආදරය සහ කරුණාව දක්වලා ජනතාව එස්.එම්.එස් කළා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අනුකම්පාවට වඩා මිනිස්සු බලන්නේ සින්දු කියන්න පුළුවන්ද කියලා.
ඒ කාලේ ඔබ දුක මාකට් කළා කියලා රාවයක් ගියා. ඒ ගැන මොකද හිතුණේ?
ඒ ගැන අමුතුවෙන් කියලා දෙයක් හිතුණේ නෑ. මම ඒ දේවල් හිතලා කළේ නෑ.

තරගයේ ස්වභාවය තුළ අපේ ජීවිතය පෙන්නනවා. ලංකාවේ ඉන්නේ සංවේදී මිනිස්සු. මගේ ට්‍රේලර් එක දකින කොට ඒ අයට දුක හිතෙන්න ඇති. මම ඒක පිළිගන්නවා.
සුපර් ස්ටාර් තරගයේදී ඔබට කට්ට කන්න සිදු වුණේ නැද්ද?
ඇත්තටම මට ලොකු කට්ටක් කන්න වුණේ නෑ. මොකද මට මගේ ගමේ අය සල්ලිවලින්ද අනෙක් හැම දෙයින්ද උදවු කළා. ඒ නිසා මට ලොකු කට්ටක් කන්නවත් තරගය ලොකු බරක් විදියට හිතන්නවත් වුවමනා වුණේ නෑ.
දැන් අජිත් එදා හිටපු අජිත්ට වඩා වෙනස්ද?
මගේ එහෙම වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ අද මම බස් එකේ යන්නෙ නැති එක විතරයි. අදටත් මම ෂෝටක් ඇඳගෙන එහෙ මෙහෙ යනවා. මම මගේ ජීවිතේ ගොඩක් සීරියස් ගන්නේ නෑ. සාමාන්‍ය විදියට මගේ ජීවිතේ ගෙවිලා යනවා. කොහොමත් දැනුත් මගේ ලොකු සීන් නෑ.

ප්‍රසංග වේදිකාවෙදි තවම ඔබ ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීත ගයනවාද?
කවුරු හරි කියන්න කිව්වොත් තමයි මම ප්‍රියා සූරියසේන මහත්මයගේ ගීත කියන්නේ. නැත්නම් මගේ ගීත විතරයි කියන්නේ. ප්‍රියා සූරියසේන මහත්මයගේ ගීත මම කිව්වා කියලා ඔහුට අසාධාරණයක් වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. රසිකයන්ගේ ආසාව නිසා ප්‍රසංගවලදි ඒ ගීත කිව්වොත් මිසක් නැත්නම් දැන් මම ඒ ගීත කියන්නේ නෑ.
සුපර් ස්ටාර් තරගයේ හිටපු යාළුවෝ දැන් මුණගැහෙනවද?
ප්‍රසංගවලදී මුණගැහෙනවා. ඊට අමතරව දැන් ටික දවසකට කලින් අපි යාළුවෝ දහදෙනෙක් විතර මුණගැහිලා පරණ සොඳුරු දේවල් මතක් කළා. ඒ දේවල් මතක් කරලා සතුටෙන් බදාගෙන ඇඬුවා.

ඔබේ පවුලේ විස්තරත් කියමු නේද?
මගේ බිරිය නිලූකා තමයි මගේ සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්නෙ. මම ගොඩක් වාසනාවන්තයි. ඇය වැනි බිරියක් ලැබීම ගැන. මගේ දුවට දැන් අවුරුදු අටක්. අපි හැමෝම පවුලක් විදියට සතුටෙන් ජීවත් වෙනවා.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
මම දිගටම සංගීතය තමයි කරන්නේ. හොඳ නිර්මාණ කරලා ක්ෂේත්‍රයේ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇරෙන්න මට ලොකු බලාපොරොත්තු නෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ මව්බිම පුවත්පතින්