අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීමත්, රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80දෙනෙක් පමණවන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද එජාප ප්‍රබලයෝ සිය සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, මෙම අගමැති නම් කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් එ.ජා.ප නායකත්වය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බවට එජාප ප්‍රබලයෝ විශ්වාසය පළ කරති.

මේ අතර, පෙරේදා (04දා) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වනු ලැබූ දැඩි ස්ථාවරත්වය හා දැඩි ප්‍රකාශයන් පිළිබඳව එජාප මන්ත්‍රීවරු රැසකගේ ප්‍රසාදය හිමිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් පළ කිරීම, මෙම රහස් ඡන්දය පැවැත්විය යුතු බවට එජාප ප්‍රබලයින් වඩාත් උනන්දුවීමට ද හේතුවී ඇති බවද ප්‍රකාශ වේ.
එජාප රැස්වීමේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, පක්ෂය තමන්ගෙන් වැඩක් නොගත් බවත් සෑම අවස්ථාවකම තමා පාපිස්සක් ලෙස භාවිත කළ බවත්ය.

රට තුළ පවතින තත්ත්වය කොළඹ 07 ජීවත්වන මිනිසුන්ට නොතේරෙන බවත්, ගමේ පවතින තත්ත්වය අවබෝධ කරගත යුතුව ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම, පොහොර සහනාධාර වෙනස් කිරීම ආදිය නොකළ යුතුව තිබූ බවත් දූෂිතයන්ට දඬුවම් දීමේ පොරොන්දුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු දූෂිතයෙකුට දඬුවම් නොකළ බවත් මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් එජාප නායකයන්ට සිය පාක්ෂිකයාට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයක් උදාවූ බවත් සෑම විටම සජිත් ප්‍රේමදාස චරිතය ඉස්මතු වන්නේ යම් අර්බුදයක් හටගත් විට පමණක් බවත් මේ තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් තමන් ඒ සඳහා සූදානම් බවත් පවසා තිබේ.