රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (12) කළ ප‍්‍රකාශය දෙමළ ජාතික සන්ධානය සමග එක්සත් ජාතික පක්‍ෂය එළඹ ඇතැයි කියන රහස් ගිවිසුමෙහි තවත් ප‍්‍රකාශනයක් දැයි දේශපාලන වේදිකාවේ නව කථිකාවක් ඇති වී තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියාසිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කිරීමේ සිය ස්ථාවරය වෙනස් වී නොමැති බවයි. මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී අවශ්‍යතා ඉටු කිරීමට බව ප‍්‍රතිපක්‍ෂ චෝදනා කරනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සමග එළඹ ඇති රහස් ගිවිසුම කුමක් දැයි එක්සත් ජාතික පක්‍ෂය වහාම රටට හෙළිකළ යුතු බවයි ඔවුන් නැවත අවධාරණය කරන්නේ.

එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇතැයි කියන රහස් ගිවිසුමක කොන්දේසි කිහිපයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ (12) අනාවරණ කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියාසිටියේ පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේදීද දෙමළ ජාතික සන්ධානය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කළේ මෙම කොන්දේසි අනුව බවයි.

පෙබරවාරි මාසය වන විට නව ව්‍යවස්ථාවක් සම්මත කොට ෆෙඩරල් රාජ්‍යක් ඇතිකිරිමේ මුලික පියවර ගැනිම,යුධ කාලයේ චෝදනා එල්ල කිරිමට උත්සහා ගත් හමුදා නිලධාරින්ට එම චෝදනා වහාම ඉදිරිපත් කිරිම හා උතුරු නැගෙනහිර එක්කිරිම අදාළ කොන්දේසි වන බව ඔහු එහිදී සඳහන් කලා.

කෙසේ වෙතත් ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයාගේ චෝදනාවට පිලිතුරු ලබාදුන් පාර්ලිමෙන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් සඳහන් කලේ එවැනි කොන්දේසි කිසිවක් මත සහය පලකල නොමැති බවය.

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිලිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) සඳහන් කළේය.

ඒ ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

අපි දන්නවා උතුරේ ද්‍රවිඩ ජනතාව විඳින දුක. අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් ඒවට විසදුම් ලබාදෙනවා. අපි අලුත් ව්‍යස්ථාවක් සකස්කරලා ඒ මගින් ඒකිය රජ්‍යයක් තුළ නොබෙදුන  ශ්‍රි ලංකාවක් තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැමෝටම පිලිගන්න පුලුවන් දේශපාලන විසදුමක් ලබාදෙන්න අප කැපවෙලා ඉන්නවා. පළාත් සභා ශක්තිමත් කිරිමත් ඒ තුළින් සිදුවනවා.ඒ එක්කම විධායක ජනාධිපතිකම අහෝසි කිරිමටත් අපි කැපවෙලා ඉන්නවා කියලා කියන්න කැමැතියි.

රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඊයේ (12) දිනයේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) විධිවිධාන ප්‍රකාරව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බවට කථානායකවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යවා තිබෙනවා.

මේ පිළිබඳව කථානායකවරයාගේ කාර්යාලය යොමු කල ලිපිය පහත දැක්වේ.