එක්සත් ජාතික පක්ෂයේ පිල් බෙදීම හේතුවෙන් කළකිරුණු පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) මහව, මූණමලේගම පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුව අමතමිණි. 

කණ්ඩායම් දෙකක් බවට පත්ව සිටින එ.ජා.පය දවසින් දවස දුර්වල වෙනවා හැර ශක්තිමත් නොවන බව පාක්ෂිකයින් අවබෝධ කරගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

බෙදී වෙන්වන දේශපාලන පක්ෂ දවසින් දවස දුර්වලවන බව දේශපාලන කථාවලට ඇහුම්කන් දීමෙන් අවබෝධ වන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් ජයග්‍රාහී මැතිවරණ ගමනක යෙදී සිටින බව මේ වන විටත් ලැබෙන තොරතුරුවලින් සනාථ වී ඇති හෙයින් එම ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා එක්වන්නැයිද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියහ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයා සුරක්ෂිත කරන අතරේ පක්ෂයට එක්වන අයද එකතු කර ගනිමින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සියලු දෙනාගේ වගකිමක් යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.