ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා ආරම්භ කර ඇති ක්‍රියාවලිය වෙනුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයට මින් ඉදිරියට සහය පළකරන බව හිටපු අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට සහභාගී වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

” රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර සිදුවූ ආණ්ඩු මාරු චිත්‍රපටයේ මමත් ප්‍රධාන නළුවෙක් උනා. මම ආණ්ඩුවට එකතු වුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි. මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට උපකාරයක් කරන්න, ඔවුන්ට රැකියාවක් ලබා දෙන්න පසුගිය ආණ්ඩුව සමයේ මට හැකියාවක් ලැබුනේ නැහැ. මට පක්ෂය ඇතුලේ විවිධ ගැටළු තිබුනා. එය පොළොන්නරුවේ ජනතාව පවා දන්නා කාරණාවක්. 

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට දුන්නේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක්ට ලබා දෙන්න පුළුවන් ඇමැතිධුරයක්. ඇත්තම කිව්වොත් අමාත්‍යංශ දෙකක එකතුවක්. මම ගැන එතුමන්ලා තැබූ විශ්වාසයට මම ඔවුන්ට ස්තුති කරනවා වගේම ගරු කරනවා. ඒ වගේම තමයි මගේ පක්ෂ මාරුව නිසා යම් පාක්ෂිකයෙක් ගේ සිත් රිදුනා නම් මම ඔවුන්ගෙන් සමාව අයදිනවා. නමුත් මන්ත්‍රිවරුන් ගෙන් සමාව ඉල්ලන්නේ නැහැ” වසන්ත සේනානායක හිටපු ඇමතිවරයා කියා සිටියා.

” පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවට ගියේ නැහැ. නමුත් මම රූපවාහිනියෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු නැරඹුවා. ඒ වෙලාවේ මට ඇඩෙන්න ආවා. ඒ ඇතිවූ තත්ත්වයට පක්ෂ දෙකම වගකියන්න ඕනේ” ඔහු කියා සිටියා.

“මට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කියලා නැහැ, සෑම මන්ත්‍රිවරයෙක්ම මිත්‍රයි කියලා මම හිතන්නේ. ආණ්ඩු පක්ෂයේ සිටින සමයේ එස්.බි. දිසානායක, තිලංග සුමතිපාල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරුන් මට උපකාර කළා. ජනාධිපතිතුමා අගමැතිතුමා හැරන්නෙට මම මේ මන්ත්‍රිවරුන්ට ස්තුතිය පුදකරනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේ කැබිනට් රැස්වීමට වසන්ත සේනානායක ඇමතිවරයා වශයෙන් සහභාගී වනවාද යන්න ගැනයි. මෙහිදී හිටපු ඇමතිවරයා කියා සිටියේ තමන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට සහභාගී වුයේ ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට බවයි, නමුත් එදා ජනාධිපතිතුමා කාර්ය බහුල නිසා මුණගැසෙන්න ලැබුනේ නැහැ. නමුත් තමන් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපිය යවා අවසන් බව හෙළිකර සිටියා.