police

ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියක් ඇතුළු ඇයගේ පවුලේ සිව් දෙනෙකු ඝාතනය කර වළක දමා තිබියදී සොයා ගෙන ඇති බව පොලීසිය පවසනවා. අද දහවල් මෙම සිරුරු පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව නයිනමඩමේ පදිංචිව සිටි වෛද්‍යවරියක් වූ පුණ්‍යා කුමාරි විජේසිංහ (49) , ව්‍යාපාරිකයෙකු වූ නලීන් හෙට්ටිආරච්චි, එම යුවලගේ දරුවන් වන චාරුක ගයශාන් (15) සහ පියුමි හෙට්ටිආරච්චි (13)යි.

ඝාතනයට ලක්වූ නලීන් හෙට්ටිආරච්චි කොහු මෝල් ව්‍යාපාරිකයෙකි. දරුවන් දෙදෙනා පාසල් වියේ පසුවනන්නන් විය.

මියගොස් සිටි මොවුන් සිව් දෙනා පසුගිය දින දෙකක පමණ කාලයක සිට අතුරුදන්ව ඇති බවට තොරතුරු ඇති බවත් පොලීසිය පවසනවා.

මිය ගොස් ඇති ව්‍යාපාරිකයාට අයත් කොහු මෝලේ සේවය කළ මුරකරු දැනට අතුරුදහන්වී ඇති අතර ඇතැම් විට එම මුරකරුවා විසින් මෙම ඝාතනය සිදු කර පලා යන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය කියයි.

ඝාතනය කර ඇති එකම පවුලේ සිව් (04) දෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවසට ආසන්නයෙන් ඇති කොහු මෝල පිටුපස පවත්නා අතහැර දමන ලද මට්ටා වළක තිබී හමුවී ඇත.

මළ සිරුර මෙතෙක් ගොඩ ගෙන නැති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.