ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ ගිනි අවි සොයාගත් අවස්ථාවේ අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් නව දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බව සදහන්.

එමෙන්ම මෙම සිදුවීම වන අතරතුර අධිකරණ භූමියට පැමිණි බවට අනාවරණ වූ පුද්ගලයින් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු රත්මලාන වැටකෙයියාවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.

එම ප‍්‍රදේශයේම පුද්ගලයෙකු විසින් සංවිධාන කර මෙම පිරිස අධිකරණ භූමියට රැගෙන ආ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මකයි.

සැකකරුවන් විසිදෙනා අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පාතාල නායකයකු බව කියන ගොනා කෝවිලේ රොහා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට රැගෙන ආ බවට සැකකරන ගිනි අවි දෙකක්‌ ගල්කිස්‌ස අධිකරණ ශාලාව තුළ සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (01 වැනිදා) දහවල් සොයා ගත්තා..සොයා ගත් ආයුධ අතර මි.මී. 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ සහ රිවෝල්වරයක්‌ ඇති අතර, මෙම අවි දෙකේම ජීව උණ්‌ඩ පුරවා වෙඩි තැබීමට සූදානම් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ..

මෙම අවි සොයා ගැනීමත් සමගම පොලිසිය ක්‍ෂ්ණික මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ගල්කිස්‌ස පාතාලයේ නායකයා බව කියන හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනා කෝවිලේ රොහා මිනීමැරුම් නඩු දෙකකට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්‌ස අධිකරණය වෙත ඊයේ පෙරවරුවේ රැගෙන එනු ලැබීය.

මොහු එක්‌ නඩුවකට ඉදිරිපත් කර අනිත් නඩුව සඳහා කැඳවන තුරු සිර මැදිරියක රඳවා සිටියදී අධිකරණ ශාලාවේ තිබී මෙම අවි දෙක සොයා ගෙන තිබේ.

මීට මාස කීපයකට පෙර සොරා ගන්නා ලද වාහනයක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු කුරුණෑගල හෝටලයකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ රොහා විසිනි.

මෙම සිද්ධියෙන් පසු පලා යමින් සිටි රොහා පොලිස්‌ අත්අඩංගුවට පත් විය. මහර අධිකරණ ඉදිරිපිටදී ලංසියා නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේද රොහා විසින් බව හෙළි වී තිබිණි.

ලංසියාගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් රොහා ඝාතනය කිරීමට මෙම ගිනි අවි රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රොහා ඝාතනය කිරීමට ලංසියාගේ කල්ලිය උත්සාහ කරන බවට ලැබී තිබූ තොරතුරු මත පොලිසිය පසුගිය 28 දා පෙරවරුවේ සිට ගල්කිස්‌ස ප්‍රදේශයේද අධිකරණය හා ඒ අවට ප්‍රදේශයේද දැඩි ආරක්‍ෂාවක්‌ යොදා තිබුණි.

අධිකරණයට පැමිණෙන සියලුම පුද්ගලයන් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

අධිකරණ ශාලාව අසල තාප්පයෙන් හෝ කාණුවක්‌ හරහා ඇතුළු වූ පුද්ගලයකු මෙම අවි රැගෙන එන්නට ඇති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී චන්දන ගලප්පත්ති යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.