උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පළාතේ පවුල් 2788 කට අයත් පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කයේ තුළ පවුල් 1347 කට අයත් පුද්ගලයින් 4633 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 17 ක රඳවා සිටිනවා.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4443 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 22 ක පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා සිටිනවා.

මන්නාරම දිස්ත්‍රික්කය තුළද පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසුවේ.

මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාම හේතුවෙන්ද ඒ9 මාර්ගය යටවී තිබු අතර, ප්‍රදේශයට ‍මේ වන විටත් වර්ෂාව ඇද හැලෙමින් පවතිනවා.

කිලිනොච්චිය ඉරණමඩු වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට වැවේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවන් පවසනවා.

කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වල ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත හැකි පමණ ආහාර, වතුර  හා විශේෂයෙන්ම පාවිච්චි කළ හැකි ඇදුම් ලබාදෙන ලෙස එම ජනතාව ඉල්ලීමක් කරනවා.

දැනට කදවුරුවල සිටින ජනතාව පවසන්නේ සිය පළාත්වලට සිදුව ඇති විනාශය දැක ගැනීමට පිරිස් පැමිණියත් සිය අත්‍යාවශ්‍යතා පිළිබඳ ඔවුන් තැකීමක් සිදු නොකරන බවයි.

මේ අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීමත් සමග ගොවිපොළවල් තුළ සිටි සතුන් සමූහ වශයෙන් මිය ගොස් තිබෙනවා.