උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ.

මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී පක්ෂ හතේ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බව ත් ගමනාගමන කටයුතු අඩාල වන බවත් සඳහන් කළහ.

යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි දෙමළ පක්ෂ හතට ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, දෙමළ ජනතා සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂවල නියෝජිතයෝ සහභාගි වූහ.

දෙමළ දේශපාලන පක්ෂ සහ උතුරු නැගෙනහිර ස්වේච්ඡා සංවිධාන මෙම පූර්ණ හර්තාලය ක්‍රියාත්මක කොට ඇත්තේ නව ත්‍රස්ත විරෝධී පනත ඉවත් කරන ලෙසත් උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය නවතන ලෙසත් හින්දු ආගමික ස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගැනීම හා බලහත්කාරයෙන් මෙම පළාත්වල සිංහල කොලනි පිහිටුවීමට විරෝධය පළ කිරීම පිණිස ය.

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තුව තුළ ඊට විරෝධයක් දැක්වීමට ද දෙමළ දේශපාලන පක්ෂ තීරණය කොට තිබේ.