ඉන්දියාවේ වෙසෙන ජනතාව ඊයේ (05) රාති‍්‍රයේ විනාඩි 09 ක් විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් සහ පහන් දැල්වීම සිදුකර තිබෙනවා.

ඒ, කොරෝනා මර්දන සටන වෙනුවෙන් රටක් ලෙස එක්සත්ව කටයුතු කරන බව අවධාරණය කරමින්. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බිලියන 1.3 ක් වූ ඉන්දියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියේ එරට වේලාවෙන් රාති‍්‍ර 9.00 ට සියළු විදුලි පහන් නිවා දමා මෙම කි‍්‍රයාවට එක්වන ලෙසයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මිලියන ගණනක් වූ ඉන්දියානු වැසියන් විදුලි පහන් නිවා දමා සිය නිවෙස් ඉදිරිපිට සහ නිවසේ බැල්කනියේ ඉටිපන්දම් සහ පහන් දැල්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අන්ධකාරයට අභියෝග කරන ලෙස සියළු ඉන්දියානුවන්ගෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී ඉල්ලීමක් ද කළා. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් මාර්තු 25 වැනිදා ඉන්දියාවම වසා දැමීමට තීරණය කෙරුණා.

මේ දක්වා ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 4,288 ක් හමුවී තිබෙනවා. ඒ, ගත වූ පැය 24 අලූතින් රෝගීන් 700 ක් වාර්තාවීමත් සමගයි. ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 117 ක්. ඒ, ගත වූ පැය 24 අලූතින් මරණ 18 ක් වාර්තාවීමත් සමගයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල්ගත කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය පරීක්‍ෂණ කිහිපයකට ලක් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ. වෛරසය වැළදි දින 10 කට ආසන්න කාලයක් ගතවි තිබුණත් කොරෝනා රෝග ලක්‍ෂණ අඛණ්ඩව පැවතීම ඊට එක් හේතුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර විශේෂ ප‍්‍රකාශයක් කරමින් එලිසබෙත් මහ රැජින ප‍්‍රකාශ කළේ බි‍්‍රතාන්‍යයට කොරෝනා සටන ජය ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි. මේ දක්වා බි‍්‍රතාන්‍යයේ කොරෝනා රෝගීන් 47,806 කු හමුවී තිබෙනවා. ඒ, ගත වූ පැය 24 අලූතින් රෝගීන් 5,903 කු වාර්තාවීමත් සමගයි. බි‍්‍රතාන්‍යයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,934 ක්. ඒ, ගත වූ පැය 24 අලූතින් මරණ 621 ක් වාර්තාවීමත් සමගයි.

මේ අතර ලොවපුරා කොරෝනා රෝගීන් 12 ලක්‍ෂ 71,875 ක් අද වනවිට වාර්තා වනවා. සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 69,405 ක්.