ඒ ඉන්දීය සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය ගායකයෙකු වන කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත්ගේ මියුරු හඬයි. නමුත් රසිකයින් දහස් ගණනක් හඬවමින් ඔහු සිය දිවියට සමුදී තිබෙනවා. කොල්කටා නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

කේ කේ අවසන් වරට සහභාගී වූ ඊයේ පැවැති එම සංගීත ප්‍රසංගය සඳහා ඔහුගේ රසිකයින් දහස් ගණනක් සහභාගී වී තිබෙනවා. එලෙස රසිකයින් දහස් ගණනක් මධ්‍යයේ ගී ගයන අයුරු දැක්වෙන ඡායාරූපයක් මියයාමට පෙර ඔහු සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධ කර තිබුණා.

අදාළ සංගීත ප්‍රසංගයට සහභාගී වී තමන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය තුළ පැමිණ ඇති කේ කේ එහිදී ඇදවැටීමෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ. අනතුරින් පසුව ඔහුව රෝහල්ගත කර තිබුණත් ඔහු ඒ වනවිටත් මියගොස් සිට තිබෙනවා. මියයන විට කේ කේගේ වයස අවුරුදු 53 ක්. 

කේ කේගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 1990 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ඇති කේ කේ මේවනවිට හින්දි චිත්‍රපට පසුබිම් ගායනය ද ඇතුළුව ගීත 100 කට පමණ ගායනයෙන් දායක වී තිබෙනවා.