ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ එරට රුපවාහිනී නාලිකාවක් සිදුකළ හෙළිදරව්වකින් පසුවය.

එම නාලිකාවේ මාධ්‍යවේදියෙක් සමග අදහස් හුවමරු කරගනිමින් සිදුකළ සමහර ප්‍රකාශ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කැලඹීමක් ඇතිවී තිබේ.

එහිදී ඔහු පවසන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් හොර රහසේ ලබාගන්නා බවය.

එම මාධ්‍යවේදියා පළමු වරට 2022 දෙසැම්බර් මස 22 වනදා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මාව හමුවන අතර ඔහු දෙවන වරට 2023 වසරේ ජනවාරි 4 වනදා තේරීම් කමිටු සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකර තිබේ.

ඒ අවස්ථා දෙකේදීම අදාළ මාධ්‍යවේදියා එම සාකච්ඡා රහසිගතව පටිගත කර ඇත.

ෂර්මා ගේ ඉල්ලා අස්වීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් පැවසුවේ ඔහු සිය කැමැත්තෙන් අස්වූ බවය.

ෂර්මා එම තනතුරට 2020 දෙසැම්බර් මාසයේදී පත්කළ අතර ඔහු පසුගිය මස නැවතත් එම තනතුරට පත් කෙරිණි.