bcec0b0d

නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසි නිලුක්ෂි අමන්දා කෙටි කලෙකින් නිරූපණ ක්ෂේත්‍රයේද රංගන ක්ෂේත්‍රයේද කාගෙත් අවධානය දිනු තාරකාවක්. පසු ගිය කාලයේදී පුවත් මවන්නියක් වු ඇගේ අලුත් තොරතුරු දැන ගන්නට මෙවර අප හා පිළිසදරට එකතු කරගත්තා.
නිලුක්ෂි අමන්දා

කොහොමද අමන්දා ?

විශේෂ තොරතුරක් නැහැ. ෆැෂන් ෂෝස් තියෙන නිසා ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.

දැන් ළඟ ළඟ නිවාඩුවට මොනවද කරන්න හිතන් ඉන්නේ?

විශේෂ සැලසුම් නැහැ. මට හැම දාම එක වගේ. ඒ දවස්වල වුණත් කොහොමත් ෆැෂන් ෂෝස් තියෙනවා.

ඒ කියන්නේ අමන්දාට දැන් පුංචි හෝ විවේකයක්වත් නැති තරම්?

මම කැමැති විවේකිව ඉන්නයි. වැඩිපුර කාර්යබහුල වෙන්නෙත් නැති නිසා විවේකයක් ගැන විශේෂයෙන් සැලසුම් කරන්න ඕනේ නැහැ.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොකද කරන්නේ?

ගෙදරට වෙලා ෆිල්ම්ස් බලනවා.

අමන්දා බොහෝ දෙනා ඔබේ නම නිතරම පටලවා ගන්නේ ඇයි?

මගේ හරි නම නිලුක්ෂි අමන්දා.

එහෙනම් නම පැටලුණේ කොහොමද?

මම රඟපාපු ටෙලි නාට්‍යයක මගේ නම අමන්දා නිලුක්ෂි කියලා වෙනස් කරන්න ඔවුන්ට ඕනෑ වුණා. ඒ ගැන නේද ඔය අහන්නේ.

රංගනයෙන් දැන් ඈත් වෙලාද?

ඈත් වෙලා නෙමෙයි. මම ආස කරන මට හරියන චරිතයක් තවම ලැබුණේ නැහැ.

මොනවගේ චරිතයක් ලැබෙනකන්ද බලන් ඉන්නේ?

නපුරු චරිතයක් නම් වැඩිපුර කැමැතියි.

ඒ ඇයි ?

මට හොඳට බනින්න පුළුවන්නේ..

අමන්දා නපුරුයි කියන කතාවේ එහෙනම් ඇත්තක් නැත්තෙත් නැහැ?

මම නපුරු නැහැ. මාව ආශ්‍රය කරන අය හොඳින් ඒ ගැන දන්නවා. මම රංගනයේදී වුණත් අඬන්න ආස නැහැ. අඬනවාට වඩා මට බනින එක ලේසියි.

රංගනයේ දිගටම රැඳෙන්න අදහසක් නැද්ද?

දිගටම ඉන්නවද නැද්ද කියලා අදහසක තවම නැහැ. මට ලැබෙන අවස්ථාව අනුවයි එය තීරණය වෙන්නේ.

නිරූපණ ක්ෂේත්‍රය කියන්නෙත් දිර්ඝ කාලීනව රැ‍ඳෙන්න පුළුවන් තැනක් නෙමෙයි නේ?

ඔව් මම දන්නවා. මම වැඩිපුරම කැමැති දේ තමයි මම මේ කරන්නේ. මගේ පෙනුම හොඳට තියෙන කන් රැඳිලා ඉන්න පුළුවන්. ඒ දේවල් අඩු වෙන කාලෙට අයින් වෙන්න තමයි හිතන් ඉන්නේ.

‍පෙනුම රැක ගන්න එහෙනම් බොහොම වෙහෙසෙනවා ඇති?

විශේෂයෙන් මුකුත් කරන්නේ නැහැ. කවුරු හරි බැන්නොත් මිසක් ක්ලීන් අප් එකක් වත් කරන්නේ නැහැ. දැන් හිතයි මම බොරු කියනවා කියලා. ඒත් ඉතින් මාව දන්න කට්ටිය දන්නවා.

ලස්සන වෙන්න මුකුත් කරන්න ඕනේ නැද්ද?

ලස්සන වෙන්න මුකුත් නොකරම ඉන්න එකයි වඩාත් හොඳ. තමන්ගේ තියෙන ලස්සන පවත්වා ගත්ත­ාම ඇති.

ඔබ නර්තනයට දක්ෂයි කියලා බෙහො දෙනා දන්නේ නැහැනේ?

නිරූපණය හැරුණු විට මම වැඩියෙන්ම කැමැති නර්තනයටයි. දැනටත් විශේෂ උත්සව අවස්ථාවලදී ආරාධිත ශිල්පිනියක් ලෙස නර්තනයේ යෙදෙන අවස්ථා තියෙනවා.

නව වසරේ ජීවිතයේ නව වෙනසක් අපිට දැන ගන්න ලැබේවිද?

මොනවගේ වෙනසක් ගැනද අහන්නේ..

මම ඇහුවේ සහකාරයෙක් ගැන?

ඒ ගැන හෙමිහිට කල්පනා කරමු නේද? තවම මම පොඩියි නෙ.අනික ලැබෙන කෙනා කලට වෙලාවට ලැබෙයි.

අමන්දාට නැවතත් රංගන ශිල්පියෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

බාර ගන්නේ නම් නැහැ. මම කැමැතියි කවුරුත්ම දන්නේ නැති කෙනෙක්ට. එතකොට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්.

දැන් ගත කරන්නේ අසාමාන්‍ය ජීවිතයක්ද?

හැමෝම දන්න කෙනෙක් වුණොත් අපේ කියලා පෞද්ගලිකත්වයක් නැති වෙනවානේ. ඒ ගැනයි මම අදහස් කළේ.

පහුගිය කාලේ වුණු දේවල් ගැන ඔබ තවමත් කලකිරිමෙන් ඉන්න හැඩයි?

පොඩ්ඩක්වත් නැහැ. මගේ හිත හොඳ නම් මාව රවට්ටන්න හැදුවත් රැවටෙන්නේ එයාලමයි. මට පහු ගිය කාලේ වුණු හැම දේකින්ම මම හොඳ දෙයක් තමයි ලැබුණේ.

ටානියා මෝසස්- රසදුන පුවත්පත