ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි. 

කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.

“අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල් 600ට දෙන්න පුළුවන් ආනයනික කිරි පැකට් එකක්. පසුගිය අවුරුදු 30 ඇතුළත වැඩිම බදු මුදලක් කිරිවලට ගෙවන්නේ අද තමයි.  ටොන් 8,000ක් මාසයට විකිණුන කිරි එක දැන් ටොන් 3,000ට බැහැලා. සීනිවලට ශත 25යි ඩියුටිය. පාන් පිටිවලට රුපියල් 45යි. කිරි පිටිවලට රුපියල් 650යි. මේකේ හරි තොරතුරු රජයේ බලධාරීන්ට නොලැබීම නිසා වැරදි අර්ථකථනයක් දෙනවා රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා කිරිවලින්. ලංකාවේ කිසිම දවසක කිරිවලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. මොකද රටේ ජනතාව 85%ක් ඉන්නේ බෞද්ධයෝ සහ හිංදු. හිංදු සහ බෞද්ධ බැතිමතුන් හරක් මස් කන්නේ නැහැ. ලෝකයේ කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම මී කිරි නිෂ්පාදනයේ ලාභය ගන්නේ කිරිවලින් 45%යි මස් වලින් 55%යි.”

“ඇත්තෙන්ම දැන් තියෙන තොගවලින් මිල වැඩිකිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉදිරියට එන කිරි අඩුකරලා අපිට දේන්න පුළුවන් රුපියල් 620කට මේ බදු මිල ඉවත් කළොත්. දැන් ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල වැඩිවේගෙන යනවා. පසුගිය සති දෙක තුළම 5% සහ 10% කින් වැඩි වුණා. පසුගිය මාස තුන හතර තුළ කිරිවල වෙළෙඳාම 50%කට වැඩිය අඩු වුණා හැම ආයතනයකම. ඉතින් මේ අඩු වුණ නිසා අපිට ඉදිරි මාස දෙක තුනටම කිරි තියෙනවා අපි ළඟ. ඒවා දෙන්න පුළුවන් අපිට. මිල වැඩිකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඔය ගණන්වලට කිරි එනකොට දෙසැම්බර් මාසයේ දී හරි ජනවාරි මාසයේ දී හරි සමහරවිට අපිට මිල වැඩිකිරීමක් ඉල්ලන්න සිදු වේවි මේ බදු මිල අඩු කළේ නැත්නම්.”