යහපාලන ආණ්ඩුවේ පාලනයට එරෙහිව දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව සමග අද (18) සවස දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. දිවයිනේ සිව් දිගින් පැමිණෙන ජනතාව මාර්ග කීපයක් ඔස්සේ ඉබ්බන්වෙල මංසන්ධියට එකතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.
“වත්මන් රජය බලයට පත් වූයේ විශාල ‍පොරොන්දු ජනතාවට ලබා දීලා. අද වන විට ඒ සෑම බලා‍පොරොත්තුවක්ම බොරු බව ඔප්පු වෙලා. රටේ ඕනෑම ක්ෂේත්‍රයකම අර්බූද මතුවෙලා. බඩු මිල ඉහළ ගිහින්. කිරි ගොවියෝ , තේ ගොවියෝ අසරණ වෙලා. ‍පොල් රටින් ගෙනෙන තත්ත්වයකට අපේ රට අද කෘෂිකාර්මික අංශය කඩා වැටිලා” යැයිද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළෝය.
අද ඇතැම් අය නීතියේ ආධිපත්‍ය තමන් අතට ගන්න හදනවා. රටේ අධිකරණ බලය, ‍පොලිස් බලය සිරිකොතට ලබා දී ඇති බවද ‍පොලිස්පතිවරයා සේවකයන්ගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න ඡායාරූප සමහර මාධ්‍ය තුළ පළ වෙනවා.ඒ ගැන මේ දක්වා ‍පොලිස්පති ප්‍රකාශයක් කරලා නෑ. ඒ තත්ත්වයට රටේ නීතිය පිරිහී ඇති බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
කොළඹදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කරුණු හෙළි කළේය. මෙහිදී අදහස් දැක්වූ ‍පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.
“ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අධිකරණ ක්‍රියාදාමය ගැන කිසිදු දැනුමක් නැතිව ප්‍රකාශ කරනවා. ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලකින් යුත් විශේෂ අධිකරණයක් පිහිටුවා රාජපක්ෂවරුන්ගේ නඩු අහලා ඉවර කරන්නත් ඒ අනුව රාජපක්ෂලා හිරේ දමන්නත් කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබුණා. මේ රටේ නීතිය කාටත් ‍පොදුයි. එක පවුලක නඩු අහන්න විශේෂ අධිකරණ පිහිටුවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩක් නැති බවද මහාචාර්ය පීරිස් මහතා කීවේය.