සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්.

සමස්ථ ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පිංකම් තම තමනගේ නිවෙස්වලට පමණක් සීමා වෙමින් සිදු කරන ලෙස ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන, අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක ගංතුනේ අස්සජී සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය මකුලෑවේ විමල යන ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ වෙසක් දින පණි්වුඩයේ මේ බව සදහන්.

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැදී සිටිමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විවරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම යෝග්‍ය බවයි මහානායක මාහිමිපාණන් වහන්සේලා පෙන්වා දෙන්නේ.

නීරෝගී බව පරම ලාභයකි යන තතාගත දේශනාව මනාව වටහා ගනිමින් සියලු අගතීන්ගෙන් මිදී අධ්‍යාත්මික ගුණධර්ම වඩා වර්ධනය කරමින් තමන්ගේත්, අනුන්ගේත් සමස්ථ සමාජයේත් යහපැවැත්ම උදෙසා වගකිව යුතු පුරවැසියෙකු ලෙස සිය දායකත්වය සමාජ සුරක්ෂාව උදෙසා ලබා දීමට නොපසුබට වීර්යයෙන් කටයුතු කිරීම සැමගේ යුතුකම හා වගකීම වන බවද මහානායක මාහිමිපාණන් වහන්සේලා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සදහන්.

සකල සත වෙත මෛත්‍රිය පැතිරවීමට බුදුන්වහන්සේ දේශනා කළ සේම, අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්, යහපැවැත්මත් උදෙසා කැපවීම මේ වසංගත තත්ත්වය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම බෞද්ධයාගේ මෙම උතුම් ගති ලක්ෂණය ලොවට ආදර්ශය පෙන්වා දීමට වෙසක් පොහොය දිනය කදිම අවස්තාවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යන් සිහපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ථ බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන ප්‍රිතියෙන් යුතුවය.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද සාමූහික පිංකම්වල නිරත විමේ අවස්ථාව අහිමි වී තිබේ. එහෙත් උතුම් තෙමගුල සිහිපත් කොට තම තමන්ගේ නිවෙස් තුළම රැදී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදිමට එය බාධාවක් කර නොගත යුතුය. මෙම උතුම් වෙසක් සමයේ සැදැහැ සිතින් පෙහෙවස් රකිමින් සැදැහැවත්ව පුරන පිළිවෙතින් රටේත්, ලෝවැසි සියලු ජනතාවගේත් කායික, මානසික සියලු පීඩා දුරු වේවායැයි ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සදහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ථ මිනිස් සංහතියටම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩි දියුණු වීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහගු කොට බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතිවක් ලෙස ලොව හමුවේ නැගී සිටීමටද එය ඉවහල් වූ බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ දැක්වෙනවා