අමරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපලේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළ බවට වන වාර්තා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. 

සිය ට්විටර් ගිණුමේ ඒ විශේෂ සටහනක් තබමින් ඔහු පවසන්නේ වියානා සම්මුතියේ හෝ වෙනත් සම්මුතීන් හි කුමක් සදහන් වූවද ලෝකයේම ගෝලීය වසංගතයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ පෙර කවරදාටවත් වඩා මිනිස් ජීවිත බේරාගැනීමට ප‍්‍රමුඛතාව ලබාදී යුතු බවයි. 

එහිදී ඒ ඒ රටවල් සකස්කර ඇතිි ජාතික  රාමුවලට සෙසු රටවල් සහයෝගය දැක්වීම සහ ගරු කිරීමද අත්‍යවශ්‍ය බව නාමල් රාජපක්ෂ හිටපු මන්ත‍්‍රීවරයා පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ද මීට පෙර නිල නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වුයේ සිය රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සෑම විටම විදේශ සබදතා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවයි. 

නිරෝධායන සීමා කිරීම ඇතුළුව ශී‍්‍ර ලංකාවේ කෝවිඞ් 19 මාර්ගෝපදේශ පිළිපදින බවද එහි දැක්වෙනවා. 

කෙසේවෙතත් අමරිකානු රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය ශ‍්‍රී ලංකාවට පැමිණීම රාජතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප‍්‍රමිතීන්ට හා ක‍්‍රියාපටිපාටියට අනුකූලව සිදු වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වුණේ.

මේ අතර ශ‍්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත‍්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වන පී සි ආර් පරීක්ෂණ හා නිරෝධායන රෙගුලාසී ඊයේ සිට සංශෝධනය කෙරුණා. 

ඒ අනුව සෑම රාජතාන්ත‍්‍රික නිලධාරීයෙකුම ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඔවුන්ගේ පැමිණීම හා ඔවුන් සමග පැමිණෙන පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී පූර්ව අනුමැතියක් ලබා ගත යුතුයි. 

රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා සිය රටින් පිටත්වීමට පෙර පැය 72ක් ඇතුළත ලබාගත් පී සී ආර් පරීක්ෂණයක වාර්තාවක් ශී‍්‍ර ලංකාවේ දී ඉදිරිපත් කළ යුතු බවද සංශෝධිත රෙගුලාසිවල සඳහන්. 

එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ගුවන්තොටුපොලේ දී ඔවුන් පී සී ආර් පරීක්ෂණයකට අනිවාර්යෙන් ලක්විය යුතු වනවා.
 
තවද රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලවල ප‍්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිය නිල නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වූ යුතුයි. 

සෙසු රාජතාන්ත‍්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශී‍්‍ර ලංකා රජය විසින් අනුමත කරන හෝටලයකදී හෝ ස්වාධීන හා වෙන්වූ නිවසකදී නිරෝධායනයට ලක්විය යුතු වනවා. නිරෝධායන කාලය දින 14ක් වන අතර රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩල ප‍්‍රධානියාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙම නිරෝධායනය සිදු විය යුතු බව ද සංශෝධිත රෙගුලාසි වල සඳහන්.

නිරෝධායන කාලය අවසන් වූ විට රාජතාන්ත‍්‍රික නිලධාරින් විසින් ඒ බව විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතුයි. පසුව රාජකාරී භාර ගැනීමට පෙර ඔවුන් නැවත වරක් පී සී ආර් පරීක්ෂණයකට ලක් ව එහි වාර්තාව ද විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

රාජතාන්ත‍්‍රික නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට මින් ඉදිරියට අනුමැතිය ලබා දෙන්නේ මෙම රෙගුලාසි වලට යටත්ව බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.