ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (අගෝ: 1) සිට රට පුරා පිහිටි ඉන්ධන හල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය.

ඔහු සඳහන් කළේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම නව ක්‍රමවේදය කරන බවත් මෙම ක්‍රමවේදයෙන් පරිබාහිරව කිසිදු අයුරකින් ඉන්ධන ලබා දීමක් නොවන බවත් ය.

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධහල් 1,150ක් ඇති අතර අයි.ඕ.සී. ඉන්ධනහල් 270ක් පවතී. අවසන් ඉලක්කම් මත පදනම් තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලැබේ.

වැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන භාවිත කරන්නන්නට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතු ය. ඒ අනුව, ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යංශය සඳහන් කරයි.

විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාව සහ ඔවුන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසට එම අමාත්‍යංශය දැනුම් දෙයි.

රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඝ එම සියලු ම රථවාහන ලියාපදිංචි කළ හැකි අතර පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, බස් සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) ඩිපෝවලින් ලබා දී වෙන් කරන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරන කෝටාවක් අනුව ය. එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලැබේ.

බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) ඩිපෝ මගින් පහසුකම් සපයනු ලැබේ.

සියලු ම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාවක් දෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය දෙනු ලබන බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබා දීමට කටයුතු කරන අතර එය ඉදිරියේදී එම පිරවුම්හල් වෙත ලබා දිය යුතු කෝටාව පිළිබඳව දැනුවත් කොට ඇත.

නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබා දීමේදී ලබා දී ඇති උපදෙස් නොපිළිපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි WhatsApp හරහා 0742123123 අංකය වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දෙන බවත් නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ලබන බව ත් එම අමාත්‍යංශය කියා සිටී.

රට පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන් කර ඇති කෝටාව ලබා ගැනීමට මුළු සතියක කාලයක් තිබෙන බැවින් සඳුදා දිනයේ ම ඉන්ධන පිරවුම්හල්වල එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස එම අමාත්‍යංශය වැඩිදුරට ත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.