අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අද දිනයේදී ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව සම්මත කර ගනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සෙංකොලය නොතිබූ බවත් ඒ හේතුවෙන් අද දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ කිසිදු වලංගු භාවයක් නැති බවයි.

අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බවටත් නිත්‍යානුකුල නොවන අයුරින් පත් කරනු ලැබූ අගමැතිවරයාට එරෙහිව බහුතර බලයකින් යුතුව සම්මත කර ගනු ලැබූ විශ්වාසභංග යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට හෙට (15) දිනයේදී පියවර ගැනීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසා සිටිනවා.

අරලියගහ මන්දිරයේ අද (14) රාත්‍රියේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ඇති බවත් හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බවයි. එමෙන්ම දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

එමෙන්ම අද දිනයේදී විශ්වාසභංග යෝජනාව ගෙනා පක්ෂ නායකයින් සමග ජනාධිපතිවරයාගේ රැස්වීමක් හෙට දිනයේදී පැවැත්වෙන බව අජිත් පී පෙරේරා මන්ත්‍රිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

මේ අතර හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා හට අගමැතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකිරීමට ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක කියා සිටියා.

” පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවට අනුව එය කතානායකවරයා විසින් සම්මත වූ එකක් බව පිළිගනු ලැබුවා. ඒ මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධුරය වගේම පත් කර තිබු කැබිනට් මණ්ඩලය විසිරිලා අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය අනුව අගමැතිවරයාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මෙතන මතු වන්නේ නැහැ. මන්ද පාර්ලිමේන්තුවේදී විසර්ජන පණතක් පරාජයට පත්වුවහොත් හෝ විශ්වාසභංගයක් පරාජයට පත්වුවහොත් අගමැතිවරයාගේ තනතුර අහෝසි වනවා” යැයි මන්ත්‍රිවරයා කියා සිටියේ.