අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (04) කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී නොවන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමේ දෙබිඩි පිළිවෙත පිළිබඳ විමතියට පත්වන බවයි.

පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට කළ ඉල්ලීම නොසළකා හැරීමෙන් තම පක්ෂය යොමු කළ ලිපියේ ස්වර්ණමය අන්තර්ගතය ජනාධිපතිවරයා විසින් නොසළකා හැර ඇති බව ද සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

ඔවුන් එම ලිපියෙන් අවධාරණය කරන්නේ පාට, පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල්කරගෙන අදාළ ලිපිය යොමුකළ බවය.

මෙම අවස්ථාවේ කළ යුතු ප්‍රායෝගික කාර්ය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි පාර්ලිමේන්තුව කැඳවීම බව ද සමගි ජන බලවේගය යළි අවධාරණය කර සිටි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රකාශ කළේ ය.

ඔවුන් පෙන්වා දුන්නේ ද ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව විශ්වාස කරන බවයි.